"ඔබ පෙම් කරනා" ගීතයේ අරුත | Oba Pem Karana

"ඔබ පෙම් කරනා" ගීතයේ සැබෑ අරුත



ගායනය -             ගුණදාස කපුගේ
පද රචනය -          සුනිල් ආර්.ගමගේ
සංගීතය -             ගුණදාස කපුගේ
එළිදැක්වීම -         1975

සුනිල් ආර්. ගමගේ මහතාගේ අත්දැකීමක් ඇසුරෙන් ලියවුනු මේ ගීතය ගුණදාස කපුගේ ශූරීන් ගයනා කරන ඉතා ප්‍රසිද්ධ ගීතයක්...


ගී පද (Lyrics)

ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය

ඔබට ආදරේ කියනා අයුරින්

පෙර දවසක මා පෙම් කරනා සඳ

මටද ආදරේ කියා තිබේ

ඔබ පෙම් කරනා ...

සාගර වෙරලේ සොඳුරු සැඳෑවක

රඟහල කෙලවර අඳුරු නිමේෂෙක

අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය

පෙර දවසක මා තුරුලට වී ඉඳ

මටද ආදරේ කියා තිබේ

ඔබ පෙම් කරනා ...

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී

දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී

මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය

සනහස සඟවා දෙනෙත නුරාවෙන්

මටද ආදරේ කියා තිබේ

ඔබ පෙම් කරනා ...


ගීතය අසන්න.නරඹන්න.

අරුත

ගීතයෙන් කියවෙන්නේ වචනවලින් තේරෙන අරුතෙන්ම පෙම්වතකු හැරගොස් තවකෙකු සමග කල්ගෙවන පෙම්වතියක් ගැන පෙම්වතාගේ විරහ වේදනාවයි. සුනිල් ආර්. ගමගේ මහතා පවසන පරිදි මේ පෙම්වතා ඔහුගේ මිත්‍රයෙක්. මිතුරා පාසල් යන සමයේ සිට ඇයට පෙම්බන්දා. නමුත් අවාසනාවකට මොවුන් දෙදෙනා විශ්වවිද්‍යාල දෙකකට තේරුණා. සුනිල් ආර්. ගමගේ මහතා පවසන පරිදි ඔවුන් නමින් කමල් සහ ස්වර්ණා නම් වේ. කමල් පේරාදෙණිය විශ්වවිද්‍යාලයටත් ස්වර්ණා කොළඹ විශ්වවිද්‍යාලයටත් තේරුණා. ඉන්පසු දෙදෙනාට හමුවීමට නොහැකි වුණා. කාලයක් ගතවෙනකොට පෙම්වතාට තේරුණා ඇයගේ වෙනස්කම්. ඇය ඇගේ විශ්වවිද්‍යාලයේ තවත් අයෙකු හා මිතුරුව සිටියා. කමල්න් බොහෝ අවස්ථාවන්හි කොළඹට පැමිණ ඒ වන විට රැකියාවෙහි නිරත සුනිල් සමග බස් රථයෙන් නිවෙස් බලා යාමට පුරුදුව සිටියා. දිනක් ඔවුන් 120 බස් රථයක ගමන් කරමින් සිටින විට බසයට හදිස්සියේ ස්වර්ණා තව අලුත් පෙම්වතා සමග ගොඩ වුණා. ඔවුන් දුටු සුනිල් මහතා තම මිතුරාගෙන් ඒ බව විමසා සිටියා. තම මිත්‍රයා විඳින වේදනාව සුනිල් මහතා හොඳින් දුටුවා. ඔහු ඒ වේදනාව පද පෙළකට ඇමිණුවා.

මෙම ගීතය පළමුව ගායනා කරන්න නියමිතව තිබී ඇත්තේ සුනිල් එදිරිසිංහ මහතාටයි. නමුත් සුනිල් එදිරිසිංහ මහතාගේ අදහස වී ඇත්තේ එය ගුණදාස කපුගේ මහතා විසින් ගායනා කල යුතු බවයි. කපුගේ මහතාගේ කටහඬ වඩාත් හොඳින් අරුතට ගැලපෙන බවයි. පසුව පටිගත කිරීම සඳහා සුනිල් එදිරිසිංහ මහතා නොපැමිණීම හේතුවෙන් කපුගේ මහතා විසින් ගීතය ගායනා කර තිබෙනවා.


#htdp

Comments