මොකක් ද මේ PCR පරීක්ෂණය?

 

මොකක් ද මේ PCR පරීක්ෂණය?




PCR swab (පුළුන් රැඳවූ දිග කූරක්) පරීක්ෂණය කොරෝනාවෛරසය සඳහා සම්මත රෝග විනිශ්චය ක්‍රමය ලෙස හැඳින්වේ. රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් වෛරසයේ ජානමය ද්‍රව්‍ය විස්තාරණය කිරීම මෙමගින් සිදුවේ. PCR යනු කෙටි නාමය වන අතර, එහි දිගුව වන්නේ Polymerase Chain Reaction යන්නය.

වෛරසය ඇති දැයි විනිශ්චය කිරීමට ඔබෙන් ලබා ගන්නා සාම්පල විද්‍යාගාර පියවර ගණනාවක් හරහා යා යුතුය.

පුළුන් රැඳවූ දිග කූරක් (Swab) නාසයෙන් හෝ මුඛයෙන් ඇතුළු කර උගුර සහ නාස් කුහරය කෙළවර ආසන්නයෙන් සෙම පටල ලබා ගැනීමෙන් පසු, එම සාම්පල PCR පරීක්ෂණය සඳහා පැය 48ක් තුළ රසායනාගාර වෙත යොමු කළ යුතුය.

එම රසායනාගාර අප එදිනෙදා දකින සාමාන්‍ය ඒවා නොවන අතර, විශේෂ දැනුමැති තාක්ෂණවේදීන්, විද්‍යාඥයන් සිටින රසායනාගාරය.


කොරෝනාවෛරස පරීක්ෂණයෙන් පසු ඔබට "ඔව්" හෝ "නැත" යනුවෙන් පිළිතුරක් ලැබේ. කෙසේනමුත් ලබා ගත් සාම්පල තුළ වෛරසය කොපමණ ප්‍රමාණයක් ඇත්ද යන්න හෝ ක්‍රියාකාරී ආසාදනයක් වීමට ඇති ඉඩකඩ පිළිබඳ කිසිදු සඳහනක් පරීක්ෂණ ප්‍රතිඵලවල සඳහන් වන්නේ නැත.

සක්‍රීය ලෙස වෛරස් විශාල ප්‍රමාණයක් ඇති පුද්ගලයෙකුට මෙන්ම දැනටමත් සුව වී ඇති ආසාදනයකින් ඉතිරිව ඇති කොටස් ඇති පුද්ගලයෙකුට ද 'ධනාත්මක' ලෙස පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනු ඇත.

එංගලන්තයේ මහාචාර්ය හෙනගන් පවසන්නේ සාක්ෂි අනුව කොරොනාවෛරසය "සතියකට පමණ පසු ආසාදනය අඩු වන බව පෙනේ," යනුවෙනි.

සක්‍රීය වෛරස තිබේදැයි බැලීමට සෑම සාම්පලයක්ම පරීක්‍ෂා කළ නොහැකි වුවද, කඩඉම් ලක්ෂ්‍යය විය යුත්තේ කොතැනදැයි විද්‍යාඥයින්ට සොයාගත හැකි නම් ව්‍යාජ ධනාත්මක ප්‍රතිඵල ලබා ගැනීමේ සම්භාවිතාව අඩු කළ හැකි බව ද මහාචාර්යවරයා පැවසීය.

මෙමගින් පැරණි ආසාදනයක් මත පදනම්ව ධනාත්මක ප්‍රතිඵලයක් ලබා දීම මෙන්ම පුද්ගලයන් අනවශ්‍ය ලෙස නිරෝධායනයට යොමු කිරීම වළක්වා ගත හැකිය.


PCR පරීක්ෂණය යොදාගන්නා වෙනත් කාර්යයන්

  • කුඩා DNA සාම්පලයක පිටපත් විශාල ප්‍රමාණයක් ගෙන ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා භාවිතා කරන්නේ ද PCR පරීක්ෂණයයි.
  • අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දී අපරාධකරුවන් හඳුනාගැනීම සහ වෙනත් කාර්යයන් සඳහා ද මෙම පරීක්ෂණය යොදාගනු ලැබේ.
  • ඊට අමතරව පුද්ගලයෙකුගේ දෙමාපියන් හඳුනාගැනීම මෙන්ම විවිධ ආසාදන හඳුනාගැනීමටද මෙම පරීක්ෂණය යොදා ගැනේ.



Composed by BBC
By HTDP


Comments